Loading...
Loading...
Loading...

pdhspimusabaragamuwa@gmail.com

045-2222322

Our Recent Blogs

Home Blog

අක්මාවේ තෙල් හෙවත් ෆැටී ලිවර් (Fatty Liver)

අක්මාවේ තෙල් හෙවත් ෆැටී ලිවර් යනු කුමක්ද?

සැම දෙනාගේම අක්මාවේ යම් ප්රමාණයකට තෙල් තැන්පත්වීමක් සිදුවේ. අක්මාවේ බරෙන් 5% -10% වඩා අධික ලෙස මේදය තැන්පත්වීමෙන් Fatty Liver නැමති තත්වය ඇතිවේ. මේ පිලිබඳව ජනතාවගේ අවධානය යොමුවී ඇතත් රෝගී තත්වය ගැන නිසි අවබෝධයක් නොමැති වීමෙන් වැරදි ප්‍රතිකාරවලට යොමුවීම් නිසාත් රෝගී තත්වය නොසලකා හැරීම නිසාත් නොයෙකුත් සෞඛ්‍ය ගැටලු ඇතිවී තිබේ.ලෝක ජනගහනයෙන් 25% පමණ මෙම තත්වයට ගොදුරුවී ඇති බව විවිධ පරීක්ෂණ සහ සමීක්ෂණ වලින් තහවුරු වී ඇත. ළමුන් අතර පවා මෙම තත්වය දකින්නට ලැබීම අනාගත ව්‍යසනයක පෙර නිමිත්තකි.

අක්මාවේ කාර්යභාරය

අක්මාව යනු විශාල කෘත්‍යයන් ගණනාවක් ඉටුකරන ශරීරයේ ඇති ඉතා වැදගත්ම ඉන්ද්‍රියකි. මෙමඟින් ආහාර මාර්ගය හරහා උරාගන්නා හානිකර ද්‍රව්‍ය ශරීරයට ඇතුළුවීම පාලනය කිරීම, සිරුරේ එකතුවන සියලු රසායන ද්‍රව්‍ය විශ්ලේෂණයට භාජනය කර එහි අඩංගු විෂ පෙරා ඉවත් කිරීම, බොහෝ ජීව ක්‍රියාවලි පාලනය, හෝමෝන, විටමින් සහ ප්‍රෝටීන් නිෂ්පාදනය, ග්ලූකෝස් සහ මේදය පාලනය සහ ගබඩා කිරීම, කාලය අවසන් කරන රුධිරානු බිඳවැටීම සහ පිත නිෂ්පාදනය, රුධිරය කැටිගැසීමට අවශ්‍ය සංයෝග නිපදවීම, කොලෙස්ටරෝල් නිෂ්පාදනය සහ පරිවෘතිය ආදිය අක්මාව මගින් සිදුකරන වැදගත් කාර්යයන් අතරින් කිහිපයකි. අක්මාවේ ඇතිවන රෝගී තත්වයන් නිසා මෙම කාර්යයන් අඩාලවීම සිදුවේ.

ෆැටි ලිවර් ඇතිවීම සඳහා බලපාන හේතු

මද්‍යසාර සහ මද්‍යසාර අඩංගු බීම වර්ග, කෘත්‍රිම පැණි බීම, නොයෙක් ශක්තිජනක බීම වර්ග අධික ලෙස පානය කිරීම, පිටි සහිත ආහාර අධික ලෙස පරිභෝජනය, අධික ස්ථූලභාවය, දෙවනි ආකාරයේ දියවැඩියාව, පූර්ව දියවැඩියාව, රුධිරයේ කොලෙස්ටරෝල් සහ මේදය අධික වීම, ව්‍යායාම් නොමැතිවීම ආදිය ප්‍රධාන සාධක වේ. තරබාරු නොවන අය අතරද මෙම රෝගය පවතින බව හඳුනාගෙන ඇත. මෙය සැබවින්ම වර්තමාන ජීවන රටාව නිසාම ඇතිවුන රෝගී තත්වයකි. ෆැටි ලිවර් ආකාර දෙකකි. 1. මධ්‍යසාර හේතුවෙන් ඇතිවන ෆැටි ලිවර් රෝග තත්ත්වය(ඇල්කොහොලික් ෆැටී ලිවර් ඩිසීස්)AFLD සුළු වශවයන් හෝ මත්පැන් පානය කිරීම මගින් මෙම තත්වය ඇතිවන අතර පහසුවෙන්ම සිරෝසිස් දක්වා වර්ධනය වේ. 2. මද්‍යසාරමය නොවන ෆැටි ලිවර් රෝග තත්ත්වය (නොන් ඇල්කොහොලික් ෆැටී ලිවර් ඩිසීස්) NAFLD NAFLD ෆැටි ලිවර් දක්නට ලැබෙන්නේ අක්මාවේ සෛල තුළ මේදය වැඩිපුර නිපදවෙන අයගේය. බොහෝ රටවල වැඩියෙන්ම දක්නට ඇති අක්මාවේ රෝගය ලෙස සැලකිය හැක්කේ මද්‍යසාරමය නොවන අක්මා රෝගයයි. (Non Alcoholic Liver Disease, NALD). අක්මාවේ මේදය තැන්පත් වීම නිසා ඇතිවන අහිතකර ප්‍රතිථල. නිසි කලට රෝගය හදුනා නොගැනීම නිසාත් නිසි ප්‍රතිකාර නොලැබීම නිසාත් මෙම තත්වය NASH (නොන් ඇල්කොහොලික් ස්ටියටෝ හෙපටයිටීස් ) තත්වයට පත්වේ. මෙහිදී අක්මාවේ සෛල ප්‍රදාහයකට ( ඉදිමීමට ) ලක්වේ. අනතුරුව අක්මා සෛල තන්තුමය තත්වයකට පත්වී සිරෝසිස් දක්වා වර්දනය වීමත් අනතුරුව අක්මාවේ පිළිකා ඇතිවීමටත් හේතු වෙයි. අක්මාවේ රෝග නොසලකා හැරීමෙන් විශේෂයෙන්ම ෆැටි ලිවර් තත්ත්වය නොසලකා හැරීමෙන් හෘද රෝග, දියවැඩියාව, වකුගඩුවල රෝග, වැනි බොහෝ අන්තරායකාරී රෝග මසූහයක් වැළදීමට ඇති අවදානම වැඩිවේ. ෆැටී ලිවර් රෝග ලක්ෂණ බොහෝවිට කිසිඳු රෝග ලක්ෂණයක් දක්නට නොලැබේ. ෆැටි ලිවර් රෝගයේ භයානකකම වන්නේ ඉතා උග්‍ර තත්ත්වයට පත්වන තෙක් හඳුනා ගැනීමට අපහසු වීමයි. සිරුරේ දුබලබව හා කෙඩෙත්තුව , උදරයේ දකුණුපස ඉහළ කොටසේ වේදනාව, ආහාර රුචිය නැතිවීම, ඔක්කාරය හා වමනය, සමහර අවස්ථාවලදී බර අඩුවීම මෙහි ප්‍රධාන ලක්ෂණ වේ.

රෝගය ඇති බවට තහවුරු කිරීම

ප්රධාන වශයෙන් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය මගිනි. අක්මා එන්සයිම මට්ටම ඉහළයාම - AST, ALT පූර්ණ කොලෙස්ටරෝල් පරීක්ෂණය මගින් රුධිරයේ ට්‍රෛගලිසරයිඩ් මට්ටම බැලීම.

අක්මාවේ තෙල් තැම්පත්වීම පාලනය සහ ප්‍රතිකාර

රෝගය පරීක්ෂණාත්මකව හඳුනාගෙන රෝගයේ මූලික අවධිවලදී ප්‍රතිකාර ලබා ගැනීමෙන් හා ජීවනරටාව වෙනස් කර ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වාගේ සුවකර ගැනීමට හැකිය. එහෙත් වඩාත් වැදගත් වන්නේ මෙම රෝගය ඇතිවීම වලක්වා ගැනීමයි. ඒ සඳහා පහත දී ඇති උපදෙස් පිළිපදින්න. දිනකට අවම වශයෙන් මිනිත්තු 30 ක් හෝ සතියකට විනාඩි 150 ක් පමණ හොඳින් ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම හෝ පිහිනීම වැනි සුදුසු ව්‍යායාමයක යෙදීම. ගැඹුරු තෙලේ බදින ලද තෙල් සහිත ආහාර, පාන් පිටි ආහාර වර්ග , ක්ෂණික ආහාර හැකි තරම් අවම කරන්න. හරක්මස්, ඌරු මස්, එළුමස්, ඉස්සන්, දැල්ලන්, කකුලුවන්, පොකිරිස්සන් වැනි ආහාර හැකි තරම් අවම කරන්න. ප්රයිඩ් රයිස්, කොත්තු, පරාට, පාන්, ඉදි ආප්ප වැනි පිටි සහිත ආහාර නිතර ගැනීමෙන් වලකින්න. කිරි පිටි, මුදවපු කිරි, බටර්, මාගරින් ,චීස් වැනි ආහාර හැකි තරම් අවම කරන්න. ශාක තෙල් හෝ සත්ව තෙල් ආහාර පිසීම සඳහා භාවිතය අවම කරන්න. මද්‍යසාර වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම නතර කර දමන්න. එළවලු, පළා වර්ග වැඩිපුර ආහාරයට ගන්න. රුධිර ගත කොලෙස්ටරෝල් මට්ටම පරික්ෂාකර එහි වැඩි වීමක් ඇතිනම් සුදුසු ආහාර පාලනයක් සහිතව ඖෂධ භාවාත කරන්න. වෛද්‍ය උපදෙස් මත ultrasound scan report, liver profile පරික්ෂා කර අක්මාවේ ස්වභාවය සහ ක්රියාකාරිත්වය පිලිබදව දැන ගන්න. ඔබ අධි ස්ථූලතාවෙන් පෙලෙයි නම් දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ආදී රෝග වලින් පෙලේ නම් එම රෝගවලට නිසි ප්‍රතිකාර ලබාගන්න. සිරෝසිස් වැනි රෝගී තත්වයක් හෝ fatty liver grade 2,3 මට්ටමේ ඇති නම් මධ්‍යසාර භාවිතය සම්පූර්ණයෙන් නතර කළ යුතුමයි. ඔබත් මෙම තත්වයට ගොදුරු වී ඇතිනම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු මුණගැසී අවශ්‍ය උපදෙස් ලබා ගන්න. නිසි ප්‍රතිකාර ගැනීමෙන් මෙම රෝගය සම්පූර්ණයෙන්ම වගේ සුවපත් කළ හැක.

Image placeholder

ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාරසිංහ

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ සබරගමුව වෛද්‍ය පිඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ

Leave a comment


Get In Touch

Provincial Directorate of Health services office, Sabaragamuwa : No 75, Dharmapala Mawatha, Ratnapura

pdhspimusabaragamuwa@gmail.com

045-2222322/045-2223270

Follow Us


+33
°
C
H: +33°
L: +23°
Ratnapura
Sunday, 03 April
See 7-Day Forecast
Mon Tue Wed Thu Fri Sat
+31° +29° +31° +33° +33° +29°
+24° +24° +23° +24° +24° +24°

©2024 | PDHS-Sabaragamuwa. All Rights Reserved.

Designed & Developed By Gayan Jayawickrama